Ads Top

Aluth Hot News

ගීසා පිරමීඩ හැදුව හැටි.

ඒවා ඉදිකර තිබෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18 ක් දුරින් පිහිටා ඇති ගීසා නිම්නයේයි. පුරාණ පුදුම හතට අයත්, තවමත් නොනැසී පවතින මිනිස් අතින් නිර්මාණය වූ එම ස්මාරක එසේත් නැතිනම් සොහොන් ගෙවල් හැඳින්වෙන්නේ ‘පිරමීඩ’ යනුවෙනි. පුරාණ ඊජිප්තුවේ වාස්තු විද්‍යා මහිමය ලොවට කියා පාන්නේ ද මේ පිරමීඩයි. ගීසා හි ඉදිකර තිබෙන පිරමීඩවලින් රජ පෙළපත් තුනක අභිමානය ලොවට පෙන්නුම් කෙරෙයි.

කි‍්‍ර.පූ. 26 වැනි සියවස, එනම් මීට අවුරුදු 4600කට පෙර පැවති සියවස, මිසර සංස්කෘතික දියුණුවේ උච්චම අවස්ථාව ලෙස සැලකෙයි. එම කාලයේ පාරාවන් (රජවරුන්) ලෙස කටයුතු කළේ කූෆු(Khufu) ඔහුගේ පුතු කාෆ්රේ(Khafre) සහ මුණුපුරු සැන්කුරේ (Menkure) ය. පිරමීඩ නිර්මාණය කරන්නැයි අණ දුන්නේ ඔවුන්. ඒ, ඔවුන්ගේ සොහොන් ගෙවල් හැටියටය. ගීසා නම්නයේ මුලින්ම පිරමීඩය හැදුවේ කි‍්‍ර.පූ. 2560 දීය. එය සෑදීමට අණ දුන්නේ කූෆු රජතුමාය. එය මීටර් 147 ක් උසින් යුක්තය. ලෝකයේ විශාලතම පිරමීඩය වන මෙය ‘මහා පිරමීඩය’ ලෙසින් ද හැඳින්වේ. 14 වන සියවස තෙක්ම ලෝකයේ උසම ගොඩනැගිල්ල වූයේ ද මෙයයි. මෙම පිරමීඩය ඉදිකළ අවධියේ මෙහි උස අඩි 481 ක් වුව ද දැන් මෙහි මුදුනත කොටස කැඞී විනාශ වී ගොසිනි. කූෆු රජ්ජුරුගේ මෙම මහා පිරමීඩයේ පාදම අක්කර 13 ක් එනම් හෙක්ටයාර 5.3 ක් පුරා විහිදෙයි. එක පැත්තක දිග මීටර 230 (අඩි 756) ක්. කාෆ්රේ රජුගේ පිරමීඩය නිර්මාණය කර ඇත්තේ කූෆුගේ පිරමීඩයට වඩා අඩි 10 ක් උසින් අඩුවෙනි. කූෆූ රජුගේ මුණුපුරු සැන්කුරේගේ පිරමීඩය මේ පිරමීඩ දෙකටම වඩා කුඩාය. උස මීටර 66 කි. කුෆූගේ බිසවුන් වෙනුවෙන් ඔහුගේ පිරමීඩය අසළ තවත් කුඩා පිරමීඩ ඉදි කර තිබේ. ඒ විතරක් නොවේ රජ පවුලේ අනෙක් රාජකීයයන් සහ ඥාතීන් වෙනුවෙනුත් මෙම පිරමීඩ සමූහය අසළ කඩා දේවාල සහ සොහොන් ගෙවල් ඉදි කර තිබේ. මොවා පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබේ. ගීසා නිම්නයේ පිරමීඩ ති‍්‍රත්වය ඉපැරණි ලෝක පුදුම 7 ට ඇතුළත් කළේ ග‍්‍රීක ජාතිකයිනුයි.
ගී‍්‍රක ඉතිහාසඥ හොරොඩෝටස් (Herodotus) ගේ වසර 2,400 ක් පැරණි ලේඛනවල සදහන් කර ඇති අන්දමට මහා පිරමීඩය නිර්මාණය කිරීමට මිසර වැසියන් හා වහලූන් 100,000 දෙනකුගේ සේවය ලබා ගෙන තිබේ. පිරමීඩය ඉදි කිරීමට වසර 20 ක කාලයක් ගතවී තිබේ. පිරමීඩය නිර්මාණය සඳහා හුණුගල් කුට්ටි ගල් කුට්ටි මිලියන 2.3 ක් යොදා ගෙන තිබේ. මේ එක ගල් කුට්ටියක් ටොන් 2 1/2 ක් පමණ බරින් යුක්තය. එහෙත් එවැනි ගල් ගීසා නිම්නයේ කිසිම තැනක ඇත්තේ නැහැ. ඒවා ඇත්තේ සැතපුම් දහස් ගණනක් නයිල් මිටියාවතේ පහළ ප‍්‍රදේශවල පිහිටි ගල්වළවල්වලය. එම හුණුගල්, පිරමීඩ ඉදි කළ ස්ථානයට ප‍්‍රවාහනය කර ඇත්තේ පහුරුවලින් යැයි පුරා විද්‍යාඥයෝ පවසති. පිරමීඩ ඉදිකිරීමට ගල් ප‍්‍රවාහනය කළ හුණුගල් නිධි කිහිපයක්ම පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබේ.

පුරාණ මිසර වැසියෝ මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කළහ. ඒ නිසා මියගිය පසු සිරුරු සුරැකිව තබා ගැනීමට හුඟක් මහන්සි වුණා. ඒ නිසයි සිරුරු මමීකරණයට ලක් කළේ. පාරා රජවරු සහ රජපවුල්වල අය මියගිය පසු ඔවුන්ගේ මමීකරණය කළ සිරුරු ආරක්ෂිතව තැන්පත් කිරීමටත් ඔවුන් සතු වස්තු සම්භාරයන් නිදන් හොරුන්ගෙන් බේරා ගැනීමටත් තමයි, පිරමීඩ ඉදි කළේ. ඔවුන් පිරමීඩ ඉදි කිරීමට තෝරා ගත්තේ නයිල් ගංගා නිම්නයේ බටහිර පෙදෙසයි. ඒකට හේතුවක් තිබුණා. ඒ මළගිය ඇත්තන්ගේ නිවහන ඇත්තේ හිරු බැසයන දිසාවේ යැයි ඔවුන් විශ්වාස කිරීමයි. මළ සිරුරු තැන්පත් කිරීමේ කුටි නිර්මාණය කළේ හරියටම පිරමීඩය මැදයි. දෙපස සිට පිරමීඩය ඇතුළට පැමිණීමට ඉදි කළ පටු මංතීරු හැම එකක්ම අවසන් වුණේ මෙම කුටිවලිනුයි. මමීකරණය කළ සිරුරු ඇතුළත තැන්පත් කළ පසුව මෙම මංතීරු ගල්වලින් වසා අවහිර කළ සීල් තබනු ලැබුණා. එහෙත් අවාසනාවකට පාරාවන් බලාපොරොත්තු වූ පරිදි මේ පැරණි යෝධ සොහොන් ගැබ් ආරක්ෂා වුණේ නැහැ. ශතවර්ෂ ගණනාවක් පුරා ම නිදන්හොරුන් පිරමීඩ ඇතුළට කඩා වැදී ඒවායේ තිබූ වස්තුව කොල්ල කන්න පටන් ගත්තා.

පුරාණ මිසර වැසියන්ගේ හිරු දෙවියන් හැඳින්වෙන්නේ ‘රා’(Ra) කියායි. පුරාවිද්‍යාඥයින් සහ ජෝතීර්වේදීන් කළ සොයා බැලීම් හා පර්යේෂණ අනුව ඔවුන් කියනවා හිරු, සඳු සහ අනෙක් ග‍්‍රහලෝක සහ පිරමීඩ අතරේ සම්බන්ධයක් ඇති බව. ඔවුන් පවසන පරිදි පාරාවන් පිරමීඩ නිර්මාණය කිරීමට පෙලඹුණේ ඔවුන්ගේ හිරු දෙවියන් වන ‘රා’ වන්දනාමාන කිරීමේ අරමුණක් ද ඇති ව බවයි. මිසරයේ මුලින්ම ඉදි කළ පිරමීඩ ගීසාහි ඇති පිරමීඩ නොවේ. කූෆූ රජුගේ පාලනයට ශතවර්ෂ ගණනාවකට කලින් මිසරයේ ජීවත් වූ වැසියන් පිරමීඩ හැඩයේ ස්මාරක හා සොහොන් ගැබ් ඉදි කර තිබෙන බවට සාක්ෂි තියෙනවා. ඔවුන් කළේ වැලි වළවල්වල මළසිරුරු මිහිදන් කර ඊට උඩින් පිරමීඩ ආකාරයේ ස්මාරකයක් ගඩොලින් හෝ ගල්වලින් නිර්මාණය කිරීමයි. මෙලෙස ස්මාරක නිර්මාණය කළේ සිරුරු මිහිදන් කර ඇති වැලි සුළෙඟ් ගසාගෙන යෑම වැළැක්වීමටයි. ගීසාහි පිරමීඩවල මුල් ආකෘති ලෙසයි, මේවා සැලකෙන්නේ. මාබල් කුට්ටි පාදයක් යොදා ගනිමින් පඩිපෙළක් ආකාරයට ඉදි කළ ‘පඩි පිරමීඩය’ තමයි පළමු පිරමීඩය ලෙස සැලකෙන්නේ. මෙම පිරමීඩයේ සැලැස්ම නිර්මාණය කළේ ඉම්හොටෙප් විසින්.
ඉම්හොටෙප් කියලා කියන්නේ වසර 4950 කට කලින් ජීවත් වූ මිසර පඬිවරයෙක්. ඔහු උපන්නේ මෙම්ෆිස් අසළයි. ක‍්‍රි.පූ. 2980-2950 අතර කාලය තුළ මහා මෙහෙයක් කළ පුද්ගලයකේ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අද අප විද්‍යාඥයෙකු හැටියට හඳුන්වන විධියට ගැලපෙන ලෝකයේ පළමු විද්‍යාඥයා ලෙස සැලකෙන්නේ මේ ඉම්හොටෙප් ය. මොහුගේ මරණින් පසු මෙවැනි විද්‍යඥයෙකු තවත් අවුරුදු දෙදහසක් යන තෙක්ම ලෝකයේ පහළ වූයේ නැහැ. ඉම්හොටෙප් පිළිබඳ මතක සටහන්වලට අනුව ඔහු විස්මිත දේවල් රැුසක් කළ අයෙක්. ඔහු වටා ගෙතී ඇති කතා නිකම්ම ගෙතූ කතාන්දර නොවේ. ඔහු සතුවූ ලෙඩ සුව කරන බලය වඩාත් වැදගත් දෙය ලෙස සලකනු ලබනවා. ප‍්‍රවාදවලට අනුව ඔහු සතුව ලෙඩ රෝග සුව කිරීමේ මායා බලයක් තිබූ බව කියැවෙනවා. ටොලමික යුගයේදී මොහුව හඳුන්වනු ලද්දේ වෙදකමට අධිපති මහ දෙවියන් වූ ටාග් (Tah) ගේ පුත‍්‍රයකු ලෙසයි.
ඉම්හොටෙප් නිර්මාණය කළ බවට සැලකෙන එක් අපූරු නිර්මාණයක් තමයි, පඩි පිරමීඩය (Step Pyramid)මේ බවට නිශ්චිත සාක්ෂි සොයා ගැනීමට ඉතිහාසඥයන්ට සහ පුරාවිද්‍යාඥයන්ට හැකිවී තියෙනවා. සකාරා හි ඉදිකර ඇති නිසා මෙය සකාරා(Saqqara) පිරමීඩය කියාද හැඳින්වෙනවා. සකාරා පිරමීඩය ඉදිකළේ සෝසර් (Zoser) පරාවන් වෙනුවෙන් කි.පූ. 2950 දීයි. ඉම්හොටෙප් සෝසර් රජතුමාගේ ප‍්‍රධාන උපදේශකවරයා ලෙස සේවය කළා. ලෝකයේ ඇති ඉපැරණිම පිරමීඩය වන්නේ මෙයයි. පුරාවිද්‍යාඥයන් කියන විදියට මෙම පිරමීඩයේ ඉදිකිරීම් කටයුතු හා නිර්මාණය ඉම්හොටෙප් අතින් සිදු කළා නම් ලෝක ඉතිහාසයේ එවැන්නක් කළ පළමු තැනැත්තා වන්නේ ද ඉම්හොටෙප් ය. මෙය පඩි පිරමීඩය ලෙස නම් කෙරෙන්නේ පාදමේ සිට මුහුදුනට යන තෙක් පඩි 6 ක ආකාරයෙන් නිර්මාණය කර තිබීමයි. ස්නෙෆෲ(Senefru) රජු තමයි කුෆූගේ පිය රජු. ඔහුත් ඉතාමත් සුමට බිත්ති ඇති පිරමීඩ නිර්මාණය කරවා තියෙනවා. මෙයින් එක් පිරමීඩයක් හැඳින්වෙන්නේ ‘ඇලවුණු පිරමීඩය’ කියලයි. ඒකට හේතුව එහි එක් පැත්තක් අනෙක් පැත්තට වඩා කුඩා වීමයි. ඒ නිසා එය ඇලවී ඇති බවක් පෙනෙයි. මෙවැනි රාජකීය පිරමීඩ 80 ක් පමණ මිසරයෙන් හමුවී තියෙනවා. ඒත් ඒ කිසිවක් ගීසාහි පිරමීඩ ති‍්‍රත්වයට සමාන කළ නොහැකියි. මෙම පිරමීඩවලින් බොහොමයක් විනාශ වී නටඹුන්ව පවතී.
පුරාණ මිසර වැසියන්ගේ සංස්කෘතියට හැකිවෙලා තියෙනවා දශක ගණනාවක් තිස්සේ මිනිස් වර්ගයා මවිත කරන්න. මිසර වැසියන්ගේ දෙවි දේවතාවුන්, ඔවුන්ගේ කලා හා විද්‍යා නිර්මාණ, ඔවුන්ගේ දැවැන්ත ඉදිරිකිරීම්, මරණින් මතු ජීවිතයක් වෙනුවෙන් සිරුරු සුරැුකෙන අයුරින් මමීකරණයට ලක් කිරීම වැනි කරුණු කාරණා හින්දා නයිල් මිටියාවතේ පිහිටි මෙම ශ්‍රේෂ්ඨ රාජධානිය අද පවා අපි සැවොම මවිත කරනවා. මිසර වැසියන් හා සම්බන්ධ අභිරහස් ද තියෙනවා. මිසරයේ සුප‍්‍රකට සංකේතය ලෙස හැදින්වෙන්නේ පිරමීඩය සහ ස්පින්ක්ස් ප‍්‍රතිමාවයි. මෙම ප‍්‍රතිමාව ඉදිකර ඇත්තේද ගීසාහි මහා පිරමීඩය අසළ නැගෙනහිරට මුහුණලායි. ස්පින්ක්ස් ප‍්‍රතිමාවෙන් නිරූපණය වෙන්නේ මිථ්‍යාකතාවලට පාදක වුණු සත්වයෙක්. මේ සත්වයාට ඇත්තේ මනුෂ්‍ය හිසක් හා සිංහ සිරුරක්. පිරමීඩවලට අමතරව මිසර වැසියන්ගේ වාස්තු විද්‍යා බලමහිමය විදහා දක්වන්නක් ලෙස මෙම ප‍්‍රතිමාව හැඳින්විය හැකියි.
අනාදිමත් කාලයක සිට මිසර ජාතිකයන් විශ්වාස කළා මරණින් මතු ජීවිතයක් ඇති බව. මරණින් පසු මිනිසාගේ ආත්මය ඉන් ඉවත් ව සක්වළ චාරිකාවක යෙදෙන බව. සමහර පිරමීඩවල ඇතුළේ ඇති පඩි පෙළවල් හා ඇතුළු මාර්ග තරුවල හා සූර්යගේ ගමන් මාර්ග එල්ල කර ගෙන තනා ඇති බවට විශ්වාස කරනවා. ලක්සෝර්හී ‘රජුන්ගේ නිම්නයේ’ ඉදිකර ඇති 6 වන රැම්සීස් පාරාවන්ගේ සොහොන් ගැබ තුළ නිර්මාණය කර ඇති චිත‍්‍රවලින් මේ බව තේරුම් ගන්න පුළුවන්. ඒ පාරාවන්ගේ ආත්මය සිරුරෙන් ඉවත්ව පියාපත් ලබා අහසින් යන බව දැක්වෙන චිත‍්‍රයකුත් මේ චිත‍්‍ර අතර තියෙනවා.
මරණින් පසු මීළඟ ආත්මයේදී ආත්මය සිරුර හා එක්වන බව මිසර වැසියන් විශ්වාස කළා. ඒ නිසයි ඔවුන් පාරාවන්ගේ සිරුරු මමීකරණයට ලක් කළේ. සිරුරුවල වැදගත් ඉන්ද්‍රීයන් විජලනය වීම වේගවත් කරවමින් නැට්‍රොන් ලූණුවල බහාලමින් සුරක්ෂිතව කුඩා බඳුන්වල තැන්පත් කළා. මළ සිරුරු ලිනන් රෙදි පටිවලින් දෙපතුළේ සිට හිස දක්වාම හොඳින් වෙළණු ලැබුවා. මිසර රජවරුන් හා සමීපව වාසය කළ සතුන් පවා මෙලෙස මමීකරණයට ලක් කර තියෙනවා. මමීවල මැජික් බලයක් හා ඖෂධීය බලයක් තියෙනවා කියලා මුලින්ම විශ්වාස කරන්න පටන් ගත්තේ අරාබි විද්වතුන්. නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කිරීමට පාරා රජපවුල්වල සාමාජිකයන්ගේ සිරුරු මමීකරණයට ලක් කර තැම්පත් කළ පිරමීඩවල ශාප කළ බව ප‍්‍රසිද්ධියට පත් කළා. මෙම පිරමීඩවල තිබුණේ මමීකරණය කළ මළ සිරුරු විතරක් නොවේ. පාරා රජපවුල්වල අයට අයිති රත්රන් මුතු මැණික් වැනි වස්තු සම්භාරයන් ද ගොඩගසා තිබුණා. ඒ නිසා ශාපයක් ඇති බව ප‍්‍රසිද්ධ කිරීම නිසා එම පිරමීඩවලට කිසි කෙනෙක් පය නොගසාවි යැයි පුරාණ මිසර වැසියන් සිතන්න ඇති. මමීවරුන්ගේ ශාප ගැන ප‍්‍රසිද්ධියට පත් වුණේ අවාසනාවන්ත අනතුරුවලට ලක් වූ නිදන් හොරුන්ගේ තොරතුරු හා ඒ අනුව තැනුනු අපූරු හොලිවුඞ් චිත‍්‍රපටත් නිසයි.

ආචාර්ය පෝල් බාන්ගේ
‘එක්ස්ප්‍රෝරිං ද වර්ල්ඞ්’
කෘතිය ඇසුරිනි

No comments:

Powered by Blogger.